Labels

Cartoons (2) Cricket (18) Crickethematics (5) English (12) Funny (10) Geeky (1) Girl Friends (4) Linux (1) Love (4) Music (1) Nalin de Silva (1) Nerdy (9) Politics (4) Relationships (4) Sinhala (10) Sri Lanka (4) Tech (1)

Monday, August 15, 2011

අපට වැරදුන තැන


ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා එක්දින තරඟාවලිය මේ වනවිට 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් පසුවන අතර. පැවති තරඟ දෙකේදීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අසාර්ථකත්වය කැපී පෙනෙන්නක් විය. T20 තරඟ දෙක දිල්ශාන්ගේ හා මහේලගේ සුපිරි පිතිකරණය හා දිල්රුවන් හා අජන්තගේ පන්දු යැවීමත් හේතුවෙන් ජය ගැනීමට සමත්වූ ශ්‍රී ලංකාවට එක්දින තරඟාවලියේදී වැරදුනේ කොතැනද ?

ශ්‍රී ලංකාවට කාලාන්තරයක් තිස්සේ පැවති විශාලම අභියෝගය වූයේ මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වයයි. නමුත් මේ වනවිට දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න හා භානුක රාජපක්ෂ යන යෞවනයන් දෙස බැලීමේදී එම අර්බුදය විසඳීමේ ලකුණු පහළ වී ඇත. මේ වනවිට එක්දින කණ්ඩායමේ නිත්‍යය ස්ථානයක් ලබා සිටින චන්දිමාල්ව අප නිසි පරිදි භාවිතා කරනවාද ?

අංක තුන පිතිකරුවකු ලෙස කණ්ඩායමට ගෙනා චන්දිමාල්, එංගලන්තය සමඟ පැවති 5 වන තරඟයේ සිට පැමිනෙන්නේ අංක 5 ස්ථානයේ. නමුත් පසුගිය ආසියානු කුසළානයට හා ලෝක කුසලානයට ඔහුව නම් නොකළේත් අංක 5 වැනි ස්ථානයක ඔහු ක්‍රීඩා කිරීමෙන් ඵලක් නැතැයි පවසමින්. සැබැවින්ම චන්දිමාල් පාසල් කණ්ඩායමක හෝ පළමු පෙළ අන්තර් සමාජ හෝ අන්තර් පළාත් කිසිඳු තරඟයක අංක 5 ක්‍රීඩා නොකළ ක්‍රීඩකයෙක්. පාසල් සමයේ ඔහු ආරම්භක පිතිකරුවකු වූ අතර, අන්තර් සමාජ හා පළාත් තරඟ වලදී ඔහු අංක අංක 3 පිතිකරුවෙක්. මේ අනුව අපට පෙනී යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අනුපිළිවෙළෙහි යම් ගැටළුවක් ඇතිබවයි.

ඇයි චන්දිමාල් හට අංක 3 ක්‍රීඩා කිරීමට නොහැකි ? එකම හේතුව ජාතික කණ්ඩායමේ අංක 3-4 හි ක්‍රීඩා කරන්නේ පරිණත ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන්වන සංගක්කාර හා මහේල වීමයි. එසේනම් කණ්ඩායම් කළමණාකාරීත්වයට ගතහැකි ක්‍රියාමාර්ග 3 කි.


  1. සංගක්කාර හා මහේල 3-4 ද, චන්දිමාල් 5 ද ක්‍රීඩා කිරීම.
  2. චන්දිමාල් කණ්ඩායමට නම් නොකර, අංක 5 ක්‍රීඩා කිරීමට සුදුසු වෙනත් පිතිකරුවකු යොදාගැනීම.
  3. සංගක්කාර හා/හෝ මහේල තම ස්ථානය වෙනස්කර චන්දිමාල් අංක 3 ක්‍රීඩා කිරීම.



  • විසඳුම 1 :-

මෙහි ප්‍රතිඵල මේ වනවිට අප අත්විඳිමින් සිටී. විශේෂයෙන්ම හම්බන්තොට වැනි දැවැන්ත ක්‍රීඩාංගනයකදී විශාල පහරවල් වලට යාම අසීරු කටයුත්තකි. බොහෝවිට පවර් ප්ලේ අවස්ථාවෙන් පසු 6,4 පහරවල් ලබාගැනීමට වඩා සෑම පන්දුවකටම පන්දුව හිඩැස් වෙත යොමුකොට ලකුණු 1,2 ලබා ගැනීමට ක්‍රීඩකයන් උත්සාහකළ යුතුය. නමුත් පසුගිය තරඟයේ පවර් ප්ලේ වලින් අනතුරුව, විශාල පහර වලට යන ක්‍රීඩකයෙකු වන චන්දිමාල් අංක 5 ට පැමිණීමෙන් පිතිකරණ අනුපිළිවෙලෙහි ඇති දුර්වලතාව නැවත වරක් පසක්විය.


අත්දැකීම් අඩු තරුණ දක්ෂ ක්‍රීඩකයෙකු එක්වරම කෙදිනකවත් ක්‍රීඩා නොකල අංක 5 හි ක්‍රීඩා කිරීමට යොමුකරනවාද ? මාළුවෙකුට ගස් නැඟීමට නොහැකි නිසා තම ජීවත්වීමේ අයිතිය අහිමිකරනවාද ? තවත් කපුගෙදර කෙනෙකු බිහිකරනවාද ? මේ ප්‍රශ්නවලට පිළිතුරු කළමණාකාරීත්වය හා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් සිතිය යුතුය.



  • විසඳුම 2 :-

ගැටලුව වන්නේ අංක 5 වෙත අප කැඳවන්නේ කවුරුන්ද යන්නයි. පසුගිය කාලය පුරාවට අසාර්ථකවූ මැදපෙළ වෙත නැවතත් ගමන්කිරීමට ශ්‍රී ලංකාවට සිදුවේ.



  • විසඳුම 3 :-

මෙය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. අතීතයේ අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා ද මාවන් අතපත්තු, රසල් ආනල්ඩ්, මහේල ජයවර්ධන හා කුමර සංගක්කාර වැනි තරුණයන් වෙනුවෙන් මේ කැපකිරීම කරනලදි. තම ක්‍රීඩා දිවියේ අවසාන සමයේදී එතෙක් අංක 4 ක්‍රීඩාකළ අරවින්දට 5 හිද, එතෙක් අංක 5 ක්‍රීඩාකළ අර්ජුනට 6-7 ස්ථානවලද ක්‍රීඩා කිරීමට තරම් ඔවූහු තම නවක ක්‍රීඩකයන් හට ත්‍යාගශීලී විය.

මින් මා තෝරාගන්නේ තෙවන විසඳුමයි. සංගක්කාර හා මහේල වැනි පරිණත දෙපලකට මේ වෙනස දරාගත හැකිවිය යුතුය. හිටපු දකුණු අප්‍රිකානු හා පාකිස්තානු ජාතික පුහුණුකරුවකු වූ බොබ් වූල්මර් වරක් පැවසූ පරිදි හොඳම පිතිකරුවා එක්දින කණ්ඩායමක අංක 5හි ක්‍රීඩාකළ යුතුය. මගේ මතය අනුව නම් මේ මහේල ජයවර්ධනහට සුදුසුම ස්ථානය බවයි. අප අවිවාදයෙන්ම පිළිගතයුතු කරුණක් වන්නේ දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමේදී හා ලකුණු 1,2 රැස්කිරීමේදී වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින හොඳම පිතිකරුවා ඔහු බවයි. අවශ්‍යය නම් මේ ස්ථානයෙහි සංගක්කාර ක්‍රීඩා කිරීම ද එතරම් ගැටළුවක් නැත.

චන්දිමාල් යනු සංගක්කාර හා මහේල ගෙන් පසු ශ්‍රී ලංකාව සොයාගත් දීප්තිමත්ම පිතිකරුවායි. මෙවැනි තරුණ ක්‍රීඩකයන්ව කළමණාකාරීත්වය පරිස්සමින් මෙහෙයවිය යුතුයි. සංගක්කාර හා මහේල වැනි ජ්‍යේෂ්ඨ පිතිකරුවන්ද මෙයට වඩා වගකීමකින් නවකයන් ආරක්ෂාකිරීමට පියවර ගතයුතුයි. ඇතැම්විට තරුණයෙකුට අවස්ථාවදීම සඳහා පිතිකරන ලැයිස්තුවේ පහළට යාමෙන් ඔවුනට ලබාගත හැකි ශතක ප්‍රමාණයේ අඩුවක් විය හැකියි. එබැවින් IPL තරඟාවලිහිදී ඔවුන්ට ලැබෙන මුදල් අගයද අඩුවිය හැකිය. නමුත් රට ගැන සිතනවානම් ඔවුන්ට මෙය සිදුකළ හැකි විය යුතුයි. මෙය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංස්කෘතියයි. අතීතයේද ජ්‍යේෂ්ඨයන් තම නවකයන් වෙනුවෙන් අවශ්‍යය විට මේ යුතුකම ඉටුකළහ.

No comments:

Post a Comment