Labels

Cartoons (2) Cricket (18) Crickethematics (5) English (12) Funny (10) Geeky (1) Girl Friends (4) Linux (1) Love (4) Music (1) Nalin de Silva (1) Nerdy (9) Politics (4) Relationships (4) Sinhala (10) Sri Lanka (4) Tech (1)

Wednesday, August 22, 2012

පිරිහෙන ප්‍රේක්ෂකයා හා පොලිස් පඹයන්


ක්‍රිකට් ක්‍රීඩාංගනවලට රටේ නීතිය අදාළ නොවේද?

ක්‍රිකට් යනු අපේ නිල නොලත් ජාතික ක්‍රීඩාවයි. වයස් භේදයකින් තොරව, බාල-වැඩිහිටි-මහළු අති බහුතරයක් ශ්‍රී ලාංකිකයන් තම ජීවනාලියේ කොටසක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරයි. මේ සියලු වයස් කාණ්ඩ වල පුද්ගලයන්ට තමන් කැමති ක්‍රීඩාව ක්‍රීඩාංගන වලට ගොස් සුවපහසුව නැරඹීමේ අයිතියක් ඇත. එයට යම් බාධාවක් වේනම්, එයට පිළියම් යෙදීම බළධාරීන් සතු වගකීමකි.

පහතින් දැක්වෙන්නේ මේ වනවිට පැවැත්වෙන SLPL තරඟාවලියේ ප්‍රවේශ පත්‍රයක පිටුපස කොටසක්. ඔබට දැකගත හැකියි මෙහි ඉංග්‍රීසියෙන් 'No Smoking' යනුවෙන්, ක්‍රීඩාංගනය තුළ දුම්බීම තහනම් බව දක්වා තිබෙනවා. මෙයට අමතරව ශ්‍රී ලංකාවේ නීතිය අනුව ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම්ය. නමුත් මෙම නීතිය ක්‍රියාත්මක වන බවක් අපට නොපෙනේ. පසුගියදා මහනුවර පල්ලෙකැළේ හිදී පැවති තරඟ වලදී අවුරුදු 21ට අඩු ගැටයන් පවා දුම්වැටියක් කටේ ගසාගෙන දුම්පිටකරමින්, පොලිස් නිලධාරීන් ඉදිරිපිටම සිටියේය. ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රිකට් ක්‍රීඩාංගන තුළට වළංගු නොවේද ? නැතහොත් ක්‍රීඩාංගන ප්‍රසිද්ධ ස්ථානලෙස වටහා නොගැනීමට තරම් නිලධාරීන් මුග්ධද ?

මේ පිළිබඳව පොලිස් නිලධාරීන්ගෙන් විමසීමේදී ඔවුන් තමාගේ ඇස් ඉදිරිපිට සිටින සිගැරැට් උරන්නන් පෙන්වන ලෙස අපෙන් ඉල්ලා සිටී. එක් උසස් නිලධාරියෙක් අපට කීවේ, "අද නීතියක් කොහෙද තියෙන්නෙ. අනික මේවා අපිට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපිට උඩින් නියෝග දීල නෑ මේව කරන්න කියල." යනුවෙනුයි. මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරීන්ගේ අදහසයි. රටේ නීතියක් නොමැති නම්, එයට වගකිවයුතු වන්නේ මෙවැනි අපෘෂ්ඨවංශී [කශේරුකාවක් නොමැති] නිලධාරීන්ම නොවේද ? අනෙක් අතට මේ නීතිය ක්‍රියාත්මක කළයුතුයි, මෙය ක්‍රියාත්මක නොකළ යුතුයි යනුවෙන් ඇඟිල්ලෙන් ඇන ඇන එක් එක් නීතිය ශ්‍රී ලංකා පොලිසියට පෙන්විය යුතුබවද මේ නිලධාරියා පවසන්නේ ? මෙහිදී තවත් නිලධාරියෙන් ක්‍රීඩාංගන තුළ දුම්බීමට ඉඩ ලබාදීම වරදක් බව පිළිගැනීමට තරම් නිහතමානී වූ බව පැවසීමද අපගේ යුතුකමකි.

2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනතේ 39 වගන්තිය පහත අයුරින්වේ.

39 යම් කොටුකරන ලද පොදු ස්ථානයක් ඇතුළත කිසිම තැනැත්තෙකු විසින් යම් දුම්කොළ නිෂ්පාදන පානය කිරීම හෝ යම් තැනැත්තෙකුට එසේ කිරීමට ඉඩදීම නොකළ යුතුය.

(2) යම් කොටුකරන ලද පොදු ස්ථානයක, අයිතිකරුවකු, පදිංචිකරුවකු, හිමිකරුවකු, කළමනාකරුවකු, භාරකරුවකු හෝ එම ස්ථානය භාරව සිටින යම් තැනත්තෙකු විසින් ඒ කොටුකරන ලද ස්ථානය ඇතුළත දුම් නිෂ්පාදන කිසිවක් භාවිතා කරමින් දුම් පානය නොකරන බවට සහතික විය යුතුය.

එසේ වුවද, (1) වන උප වගන්තියෙ විධිවිධාන වල කුමක් සඳහන් වුවද, -

(අ ) කාමර තිහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇති හෝටලයක, ආගන්තුක නිවාසයක හෝ තාවකාලික නවාතැන්පොළක (ලොජ්);

(ආ) අවම වශයෙන් පුද්ගලයන් තිහකට වාඩිවී සිටීමට ඉඩකඩ ඇති යම් ආපන ශාලාවක හෝ සමාජ ශාලාවක; හෝ

(ඇ ) යම් ගුවන් තොටුපළක,

දුම් පානය සඳහා අනන්‍ය ලෙස වෙන් කරන ලද අවස්ථාවෝචිත පරිදි කොටුකරන ලද ස්ථානයක් හෝ ප්‍රදේශයක් එම ප්‍රිශ්‍රය තුළ තුබිය හැකිය. එම ප්‍රදේශයට ප්‍රමාණවත් වාතාශ්‍රය ලබා දිය යුතු අතර, එය නියමිත වාතයෙහි තත්වය පිළිබඳ ප්‍රමිති වලට අනුකූල විය යුතුය.

(3) අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසා මෙම වගන්තියේ විධිධාන බලාත්මක කිරීම සහ නියාමනය කිරීම සඳහා අවශ්‍යවිය හැකි වෙනත් යම් ලිඛිත නීතියකට අනනුකූල නොවන සාමාන්‍ය හෝ විශේෂ විධාන නිකුත් කරනු ලැබිය හැකි ය.

(4) (1) වන සහ (2) වන උප වගන්තිවල විධිව්ධාන උල්ලංගනය කරන යම් තැනැත්තෙක් මේ පනත යටතේ වරදකට වැරදිකරු වන අතර, මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරිපිට පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසුව වරදකරු කිරීමේදී රුපියල් දෙදහසකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු එකකට වැඩි නොවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකටම ඔහු යටත් විය යුතුය.

(5) මේ වගන්තියේ කාර්ය සඳහා පොදු ස්ථානයක් යන්නෙන් මහජනයාට අයිතියක් වශයෙන් හෝ අන්‍යාකාරයකට ප්‍රවේශ විය හැකි වූ ද යම් ස්ථානයක් අදහස් වේ.

"කොටු කරන ලද පොදු ස්ථානයක්" යන්නට රජයේ දෙපාර්තමේන්තුවක්, ව්‍යවස්ථාපිත අධිකාරියක් හෝ මණ්ඩලයක් හෝ රජයේ ආයතනයක්, කාර්යාක පරිශ්‍ර, බැංකු, අධිකරන ශාලා, ශ්‍රවණාගාර, ක්‍රීඩා සංකීර්ණ, ආරෝග්යශාලා, සායන, බෙහෙත් ශාලා, විද්‍යාගාර, පාසල්, විශ්ව විද්‍යාල හෝ වෙනත් අධ්‍යාපනික ආයතන, පුස්ථකාල, කෞතුකාගාර, ආගමික ස්ථාන, හෝටල්, ආගන්තුක නිවාස, තාවකාලික නවාතැන්පොළ (ලොජ්), නේවාසිකාගාර, ආපනශාලා, සමාජශාලා, අන්තර්ජාල මධ්‍යස්ථාන, චිත්‍රපටශාලා, නාට්‍යය රඟහල්, සුපිරි වෙළඳසැල්, ගුවන්තොටුපළ, දුම්‍රිය ස්ථානවල හෝ බස් නැවතුම් පොළවල් වල විවේකාගාර, යම් පොදු වැසිකිලි, ගොඩනැගිලි, ගොඩනැගිලි තනා ඇති ස්ථාන හා විදුලි සෝපාන ඇතුළත් වේ.

සරල බසින් පවසනවා නම්, ක්‍රීඩා සංකීර්ණයක් වැනි ප්‍රසිද්ධ ස්ථානයක් දුම් බීම හා දුම් බීමට ඉඩදීම වරදක් වන අතර, වරද කරුවෙකුට අවම වශයෙන් රු. 2 000 ක දඩයක් හා/හෝ උපරිම වශයෙන් වසරක බන්ධනාගාර ගතවීමකට සිදුවේ. ඒ අනුව මෙසේ නීතිය කඩ කිරීමට ඉඩ ලබාදීම නිසා, ක්‍රීඩාංගනයේ හිමිකාරත්වය දරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින පොලිසියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔබට හැකියාවක් ඇත.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට ලබාදෙන උපදෙස් වලද පැහැදිලිවම සඳහන්ව ඇති කරුණක් නම්, ශ්‍රී ලංකාව තුළදී ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීමෙන් වලකින ලෙසත්, එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ය.

රටේ නීතිය මෙන්ම තමන්ම පැනවූ නීතිය ක්‍රිකට් ආයතන කඩයි

දැන් අප මීලඟ කරුණට යොමුවෙමු. මේ දැක්වෙන්නේද SLPL ටිකට් පතක පසුපස කොටසකි. ඒ අනුව මද්ධ්‍යසාර පාන ක්‍රීඩාංගන තුළදී භාවිතා කිරීමට අවසර නොමැත. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වරදත් සිදුවීමට ඉඩලබාදී තිබේ.

මේ පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේ තිබූ බීර හලේ තිබූ පුවරුවකි. ඒ අනුව වයස අවුරුදු 21 ට අඩු අයට බීර නොවිකුණන බව ඔවුන් පවසයි. නමුත් අප ඇසින් දුටු කරුණ වන්නේ වයස අවුරුදු 21 ට අඩු ගැටවු පවා කිසිඳු අපහසුවකින් තොරව බීර ලබාගැනීමයි. තවද දුම්වැටි වෙළඳාමද මොවුන් සිදුකරන ලදි. එහිදී ද වයසක් නොසලකා වෙළඳාම සිදුකිරීමට මොවුන් කටයුතු කරන ලදි.

පෙර සඳහන් කළ පනතේ 31 වගන්තිය මෙසේය;

31 (1) යම් තැනැත්තෙකු විසින් අවුරුදු 21 ට අඩු තැනැත්තන් සඳහා දුම්කොළ නිෂ්පාදන හෝ මද්‍යසාර නිෂ්පාදන කිසිවක් අලෙවි කිරීම, අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ඒවා අලෙවි කිරීම සඳහා ඉඩදීම හෝ ප්‍රවර්ධනය කිරීම නොකළ යුතුය.

(2) (1) වන උප වගන්තියේ විධිවිධාන උල්ලංගනය කරන කිසියම් තැනැත්තෙකු මේ පනත යටතේ වරදකට වරදකරු වියයුතු අතර, මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරිපිට පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබීමේදී රුපියල් හාරදහසකට නොවැඩි දඩයකට හෝ අවුරුදු එකකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතු ය.

(3) මේ පනත යටතේ වරදක් සිදු කිරීමේ දී යම් තැනැත්තෙකු වරදකරු වීමේ දී, ඔහු විසින් දුම්කොළ නිෂ්පාදන හෝ මද්‍යසාර නිෂ්පාදන විකුණනු ලැබුවේ ඇවුරුදු විසි එකට වැඩි තැනැත්තෙකුට යයි නිශ්චය කිරීමට හැකි සියලු සාධාරණ පියවර ගත් බව විත්තිවාචකයක් වශයෙන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබිය යුතු ය.

සරලව පවසන්නේ නම්, අවුරුදු 21 ට අඩු අයට දුම්වැටි හා මද්යසාර විකිණීම, විකිණීමට ඉඩදීම නීතියෙන් තහනම් වන අතර, එයට වරදකරුවකු වන තැනැත්තෙකුට අවම වශයෙන් රු. 4 000 ක දඩයක් හා/හෝ උපරිම වශයෙන් වසරක් බන්ධනාගාරගත කිරීමක් නියම කිරීමට හැකිය.

වයස 21 කට අඩු අයට බීර වෙළඳාම තබා, ක්‍රීඩාංගනය තුළදී කාටහෝ වෙළඳාමම ක්‍රිකට් ආයතනය තමුන්ගේම නීතිය කඩකිරීමකි. එයට අමතරව, දුම් බොන්නන් සඳහා විශේෂ කලාප නම් නොකර, ක්‍රීඩාංගන තුළ දුම්වැටි වෙළඳාමට අවසර ලබා දීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රටේ නීතිය කඩ කිරීමට අනුබල දී තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාව අප සැවොගේම ක්‍රීඩාවයි. බොහෝවිට ක්‍රීඩාංගන වලට නරඹන්නන් පැමිණෙන්නේ පවුල් පිටින්මය. එහිදී මෙවැනි මුග්ධ දුම්බොන්නන් අසල සිටීමෙන් කුඩා දරුවන් සිටින මවුපියන් කොතරම් අපහසුතාවකට පත්වනවා ඇත්ද යන්න අත්දැකීම් ඇති අය දනී. මේ ආකරයට දුම් බීමට ඉඩදීම හෝ බීර වෙළඳාම පළමුව සිදුවූ අවස්ථාව මෙය නොවේ. මෙය බොහෝ කලක පටන් සිදුවන්නකි. නමුත් මෙතෙක් කල් ජනතාව මුනිවත රැකීම සමාජයේ පිරිහීමට මඟ පාදන්නකි. 'නපුර රජ වීමට වගකිවයුතු වන්නේ, නිහඬ හොඳ මිනිසුන් වේ'.

Vuvuzela තහනමට මොකද වුනේ ?

මේ අතර පසුගිය ඉන්දීයානු එක්දින තරඟාවලිය අතරතුර, ජාත්ය්යන්තර විස්තර විචාරක ටෝනි ග්‍රේග් මහත්මයාගේ මැදිහත් වීම අනුව ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන තුළට ගෙන ඒම තහනම් කළ 'වුවුසෙලා' [Vuvuzela] නළාව නැවත SLPL තරඟාවලිය අතරතුරදී අපට දක්නට ලැබුණි. ඉතා කඨෝර ශබ්දක් උපදවන මෙම නළාව ප්‍රේක්ෂකයන්ට හිරිහැරයකි. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ SLPL තරඟයක් අතරතුර නරඹන්නෙක් වුවුසෙලා නළාවක් පිඹින අකාරය අකාරය අපගේ කැමරා කාචයේ සටහන් වූ අයුරුයි.



මේ පිළිබඳව අප ක්‍රීඩාංගනයේ සිටි පොලිස් නිලධාරීන්ගෙන් විමසීමේදී දැනගන්නට ලැබුනේ, මේ පිළිබඳව ඔවුන්ව දැනුවත් කර නොමැති බවයි. තවද ඔවුන්, එම උපකරන පරීක්ෂා කිරීම ක්‍රිකට් ආයතනය මඟින් යොදන ආරක්ෂක නිලධාරීන්ගේ වගකීමක් යනුවෙන් පවසා කරඇරීය. නමුත් ප්‍රේක්ශකයන් ක්‍රීඩාංගනයට ඇතුළු වීමේදී ගමන් මලු පරීක්ෂා කරන්නේ පොලිසිය මිස, ක්‍රිකට් ආයතනයෙන් යෙදවූ ආරක්ෂක නිලධාරීන් නොවේ. කෙසේ වුවත් පැහැදිලිවන කරුණ නම්, ක්‍රිකට් ආයතනය තම වගකීම හරි හැටි ඉෂ්ඨ නොකර ඇති බවයි.

තරඟ නරඹන්නන්ට දැඩි ප්‍රවාහන අපහසුතා

සඳහන් කළයුතු අනෙක් කරුණ නම්, පල්ලෙකැළේ වැනි මහනුවරිනුත් දුර ස්ථානවල ක්‍රීඩාංගන ඉදිකිරීමේදී ප්‍රේක්ෂකයන්ගේ ගමන් පහසුව පිළිබඳවත් බළධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව. අවාසනාව නම්, පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිහිටුවා ඇති මහියංගනය මාර්ගයේ බස් ධාවනය අතිශය දුර්වල මට්ටමක බව බලධාරීන්ගේ නොදැනුවත් බවයි. රාත්‍රී 7න් පමණ පසු මෙම මාර්ගයේ මහනුවර දෙසට බස් රථයක් සෙවීම කණ කැස්බාවා විය සිඳුරෙන් අහස දකින්නාහේ වැඩකි. දිවා රාත්‍රී තරඟ නරඹන්නට පැමිණෙන බොහෝ ප්‍රේක්ෂකයාට මේ දුෂ්කරතාවට මුහුණ දීමට සිදුවේ.

තරඟ පැවැත්වෙන දිනවල රාත්‍රී කාලයේදී ක්‍රීඩාංගනය අවට ත්‍රීරෝද රියදුරන්ට කල්ල මරේ ය. මහනුවරට යෑමට මොවුන් අවම රුපියල් 800 ක් අය කරයි. ඇතැමුන් 1 000 ක් අය කිරීමටද පසුබට නොවේ. ක්‍රීඩාවට ඇති ඇල්ම නිසා තරඟ නැරඹීමට පැමිණෙන ඇතැම් විදේශිකයන්ටද මෙහිදී සිදුවන්නේ සුද්ද වීමටය. මෙය අපේ රටේ කීර්තියට කැළලකි. ඔබ අතිශය වාසනාවන්තනම්, එක් මගියෙකුගෙන් රුපියල් 50 බැගින් අයකරගන්නා වෑන් රථයක් හමුවේ. එයද ගමන්ගන්නේ පොල්පටවන්නාක් සේ පටවාගෙනය. නමුත් ඇතැම් වෑන් රථ මගියෙකුගෙන් රුපියල් 100 ද අය කරයි. ගමනා ගමන මණ්ඩලයෙන් අවශ්‍යය බස්‍රථ යොදවන්නේ නොමතිනම්, ක්‍රිකට් ආයතනය හෝ බස්‍රථ රථ කිහිපයක් යොදවා තරඟ නරඹන්නන් හට මහනුවර දක්වා ප්‍රවාහන පහසුකම් සැලසීම උචිත බවයි මාගේ හැඟීම. එවන් සේවාවක් සඳහා රුපියල් 50ක් හෝ ගෙවීමට බහුතරයක් දෙනා එකඟවනු නොඅනුමානයි.

පසුගියදා කුරුණෑගල සිටි පැමිණි පිරිසක් ඇතුළු ප්‍රේක්ෂක පිරිසකට මහනුවර යාමට ක්‍රමයක් නොමැතිව අළුයම 2.15 පමණ වනතෙක් ක්‍රීඩාංගනය අසල රැඳීසිටීමට සිදුව තිබේ. ජනතාව මෙවන් දුක් ගැහැට විඳගෙන, දුර ගෙවාගෙන තරඟ නරඹන්නට පැමිණෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති අසීමිත ආදරය නිසාවෙනි. එය ඔවුන්ගේ දුර්වල කමක් ලෙස සලකා බලධාරීන්ට දෑස් පියාගෙන සිටීමට ඉඩදිය නොහැක. ප්‍රවාහන පහසුකම් සහිත ප්‍රේමදාස ක්‍රීඩාංගනයට SLPL තරඟාවලිය සඳහා පැමිණි ප්‍රේක්ෂක සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ප්‍රවාහන පහසුකම් අවම පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේ තරඟ නැරඹීමට පැමිණ සිටි බව අප හොඳාකාරවම දුටුවා. ප්‍රේක්ෂකයන් සෑමදා මෙය ඉවසනු නොමඇති. ක්‍රීඩාවට කොතරම් ආදරය කළද, තව දුරටත් මෙසේ දුක්ගැහැට විඳගෙන තරඟ නැරඹීමට එනවාද නැත්ද යන්න තීරණය කිරීමට සිදුවනු ඇත. ප්‍රේක්ෂකයා ක්‍රීඩාපිටියට ගෙන ඒම ගැන කතාකරන බලධාරීන් මෙය සැලකිල්ලට ගතයුතුය.

No comments:

Post a Comment