Labels

Cartoons (2) Cricket (18) Crickethematics (5) English (12) Funny (10) Geeky (1) Girl Friends (4) Linux (1) Love (4) Music (1) Nalin de Silva (1) Nerdy (9) Politics (4) Relationships (4) Sinhala (10) Sri Lanka (4) Tech (1)

Tuesday, February 5, 2013

තවදුරටත් 'නින්දාවක්' නොවේ


පසුගියදා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය හමුවේ වාර්තා කළ ජයග්‍රහනය පිළිබඳව ජැරොඩ් කිම්බර් (@ajarrodkimber) ඉංග්‍රීසි බසින් රචිත ලිපියක සිංහල පරිවර්තනයකි.

එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ අර්ධ-වෘත්තීයමය භාවය හැරුනු විට කාන්තා ක්‍රිකට් යනු නින්දාවක්. අනෙක් සෑම කණ්ඩායමක්ම පාහේ දුර්වලයන්.

තම කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන අඩු මූළ්‍යයමය දායකත්වය හා වෘත්තීය භාවයෙන් තොරවීම දකුණු අප්‍රිකානුවන් පිළිකුල් කළයුතුයි. ඉන්දියානුවන් තම කාන්තා ක්‍රිකට් ඔහේ තිබෙන්නට අත්හැර තිබෙනවා. ක්‍රීඩිකාවන් දෙදෙනෙකු යම් දක්ෂතාවක් පෙන්වන බැවින් කොදෙව්වන් මෑතක සිට කාන්තා ක්‍රිකට් පිළිබඳව ගැඹුරින් සිතීම අරඹා තිබෙනවා. පාකිස්ථානය සියලු මට්ටම්වල වීරවරුන් හට අනුග්‍රහය දිය යුතුයි. අපි නිරන්තරයෙන්ම බංගලාදේශය ක්‍රිකට් උන්මාදයෙන් පෙළෙන රටක් ලෙස හැඳින් වුවත්, කෝ ඔවුන්ගේ කාන්තාවන් ?

මේ සම්බන්ධව අයි.සී.සී යද එතරම් උනන්දුවක් නැත.

පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයේදී ක්‍රීඩිකාවන්ට අඩු දෛනික ගෙවීමක් සිදුකිරීම වැරදියි. එය සමාජයට අප්‍රසන්න පණිවිඩයක් ලබා දුන්නා. මේ තරඟාවලියේ සංවිධානය ආධුනිකයි. ඒ අතරම, සියලුම කාන්තා කණ්ඩායම් වලට වෘත්තීය මට්ටමේ පහසුකම් ලබාදීමට අදාල රටවල පාලක මණ්ඩල වලට බලකිරීමට අයි.සී.සී යට නොහැකි වූයේ මන්ද. කාන්තා ක්‍රිකට් සඳහා අවම වශයෙන් 5% ක් වත් වෙන්කිරීමට අකමැති කිසිඳු ටෙස්ට් ක්‍රීඩාකරන රටක් සඳහා අයි.සී.සී තරඟාවලි වලින් ලැබෙන ආදායම් නොදීමට කටයුතු කළ යුතුයි.

මේ 2013 යි, මේ වනවිට ක්‍රිකට් යනු ඩොලර් බිලියන වලින් ගණු දෙණු කරන ක්‍රීඩාවක්. කාන්තා ලෝක කුසලානය ලොව පුරා විසුරුවා හැරෙනවා. වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවන් වශයෙන්, මේ කාන්තාවන් සඳහා සරිලන ගෙවීමක් කළ යුතුයි. ආධුනික කාන්තා ක්‍රිකට් වල හා වෘත්තීයමය කාන්තා ක්‍රිකට් වල වෙනස ඔබට දැක ගැනීමට අවශ්‍යයනම් කරුණාකර එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ජයගත් තරඟයේ නැවත විකාශය නරඹන්න.

පෙර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව දැක්වූයේ ඉතාමත් දුර්වල දක්ෂතාවන්. ඔවුන් හරියට එහෙන් මෙහෙන් අහුලාගෙන ලෝක කුසලානයකට පිටත්කර එවූ ක්‍රීඩා සමාජ කණ්ඩායමක් මෙන් වූවා.

ශ්‍රී ලංකා රජයේ කවුරුන් හෝ කෙනෙකු එයින් ලැජ්ජාවට පත්වන්නට ඇති.

ශ්‍රී ලංකා රජය ක්‍රිකට් ක්‍රීඩාවට කරන බළපෑම පිළිබඳව මට වඩා විවේචකයෙක් ඔබට දකින්නට නොලැබේවි. ඔවුන් කණ්ඩායමේ තේරීම් වලට අනුමැතිය දෙනවා, වයස්ගත දේශපාලකයන් කණ්ඩායමට ගෙන එනවා, කොටින්ම ක්‍රිකට් වර්ධනයට ඔවුන්ගේ දේශාපාලනය ඉමහත් බාධාවක් වුනා. නමුත්, ශ්‍රී ලාංකාව එංගලන්තයට එරෙහිව තම ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට මූලික වූ තීන්දුව ගැනීමටද ඔවුන්ගෙන් කෙනෙකු කටයුතු කළා.

ඒ තීන්දුව තමයි, ක්‍රිකට් ක්‍රීඩිකාවන් හට ආරක්ෂක අංශවල රැකියා පිරිනැමීම. ඔවුන් වෙනත් රැකියාවක් සඳහා වැයකළයුතු කාලය තම ක්‍රීඩා දක්ෂතා ඔප්නැංවීම සඳහා යෙදවීමට ඉඩ සලසා දීම. අද වනවිට සාක්ෂිය රූපවාහිනී තිරය මත දිස් වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 239 ක් හඹා යමින් සිටියා, ආරම්භක පිතිකාරිනියන් එයට අඩිතාලම සකසා දුන්නා. එක් අයෙක් වැරෙන් පන්දුවට පහර දෙන අතර අනෙකා කඬුල්ලේ රැඳී සිටිමින්. ඔවුන් තම මැද පෙළට අවස්ථාවක් ලබා දුන්නා. අනතුරුව අංක 7 ස්ථානයෙන් පිටියට පිවිසි එශානි කෞශළ්‍යා ලකුණු ලබා ගැනීම ඇරඹීමට පන්දු 7ක් වැය කළා. මුලින් මා හිතුවේ ඇයට දක්ශතාවක් නැතැයි කියා. මම හිතුවා ශ්‍රී ලංකාවට හොඳ ඉදිරිපෙළ පිතිකාරිනියන් කිහිප දෙනෙකු සිටියත්, මැද දුර්වලයි කියා. එවිට කෞශළ්‍යා වැරෙන් පහර දීම ඇරඹුවා. අවස්ථාව ලැබුණු විට ඇය දඟ පන්දුයවන්නියන්ගේ හිසට ඉහළින් පන්දුව එල්ල කළා, හරියට කෙවින් ඕ'බ්‍රයන් පිරිමි කණ්ඩායම හමුවේ ක්‍රීඩා කළාක් මෙන්. එංගලන්ත කාන්තාවන්ට කරකියා ගැනීමට දෙයක් තිබුනේ නැහැ.

එංගලන්තය තියුණු තරඟයක් අපේක්ෂා නොකරන්නට ඇති. ඔවුන් ක්‍රීඩා කරන්නේ දුර්වල කණ්ඩායමක් සමඟ. ක්‍රිකට් ක්‍රීඩාවේදී පවසන ආකාරයට, තරඟට පැමින සාමාන්‍යය අයුරින් ක්‍රීඩා කිරීම ප්‍රමානවත්. නමුත් දැන් ඔවුන් හමුවේ, සාමාන්‍යය ලකුණු 15 ක් වන, එක් අර්ධ ශතකයක් පමණක් හිමි, තරඟ 47 කදී හයේ පහර 2ක් පමණක් එල්ල කර ඇති ශ්‍රී ලංකා මැදපෙළ පිතිකාරිණියක් හතර අතට පහරවල් එල්ල කරනවා.

එංගලන්ත ක්‍රිකට් ලෝකය කඩා වැටුනා. වෙනදා උකුස්සන් මෙන් පන්දු රකින එංගලන්ත ක්‍රීඩිකාවන් දැන් පන්දු රකින්නේ ඉරිදා අවන්හල් කණ්ඩායමක් ලෙසයි. ජෙනී ගන් සාමාන්‍යයෙන් හොඳ ස්ථාන වලට පන්දුව යොමුකරන, ලකුණු ලබා ගැනීමට අපහසු පන්දු යවන්නියක්, නමුත් දැන් ඇය එකකට පසු එක ෆුල් ටොස් පන්දු එවනවා. තමන් පුහුණුවීම් වලදී 10 000 වතාවක් රැකගෙන ඇති ආකාරයේ උඩ පන්දුවක් එල්විස් අතහිරිනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කලින් බලාපොරොත්තු වන්නට ඇත්තේ තමන් තවදුරටත් දුර්වලයන් නොවේ යැයි පෙන්වන, ධෛර්යය සම්පන්න ක්‍රීඩා විලාශයක් හා ආත්ම ශක්තිය වඩවන ආකාරයේ තරඟයක්. නමුත් දැන් ඔවුන් අවසාන පන්දුවාරයට පිවිසෙන්නේ ජයග්‍රහනයට ලකුණු 9ක් අවැසිව.

අවසාන පන්දුවාරය විස්මිතයි.

සුරන්ගිකා පළමු පන්දුව ශෝර්ට් ෆයින් ලෙග් දෙසට යොමු කර එක ලකුණක් ලබා ගත්තා. ශ්‍රී ලංකාවට පන්දු 5 කින් ලකුණු 8 ක් අවශ්‍යයි. කෞශළ්‍යා පන්දු 39 කදී ලකුණු 49ක් රැස් කට සිටිනවා.

යම් චකිතයක් පෙන්වීම වෙනුවට, කෞශළ්‍යා පන්දුව ස්ක්වෙයාර් ලෙග් වලට ඉහළින් එල්ල කර ලකුණු 6 ක් ලබා ගන්නවා. ඇය ප්‍රීති ඝෝෂා කළේ හරියට ඇය තරඟය ජය ගත්තාක් මෙන්, ඒ වනවිට ශ්‍රී ලංකාවට තවත් ලකුණු 2ක් අවශ්‍යයයි පන්දු 4 කින්.

මීළඟ පන්දුවටත් කෞශළ්‍යා එයම කිරීමට උන්සාහ කළා, නමුත් පන්දුව තනි උඩ ගියා පමණයි. පන්දුව නැවත පහළට පැමිණීමට යම් කාලයක් ගනු ලැබුවා. පන්දුව පහළට එන විට, කෞශළ්‍යා ඥානාන්විත වූවා පන්දුව රැක ගැනීමට උත්සාහ කරන එල්විස්ගේ දෘෂ්ටි පථයේ පෙනීසිටීමට. එල්විස් සූදානම් වනුයේ එංගලන්තයට තරඟය ජගැනීමට මගක් විවර කරදීමටයි. නමුත් ඇය උඩ පන්දුව අත හැරියා.

එංගලන්තය සුළු වශයෙන් පැමිණිලි කළා කෞශළ්‍යා පන්දු රකින්නියට බාධා කළ ලෙස, නමුත් පුනරූපන වලට අනුව කෞශළ්‍යා එය මනාව සිදුකර තිබෙනවා. තණතීරුවෙන් ඉවතට දුවමින් හා එල්විස් ගේ මාර්ගයට බාධා නොකර. උත්කෘෂ්ඨ ක්‍රීඩා විලාශයක් හා ලකුණු සම කිරීමක්.

මීළඟ පන්දුව සුරංගිකා මිඩෝෆ් පන්දු රකින්නිය වෙත එල්ල කළ අතර, කෞශළ්‍යා දිවගියමුත්, සුරංගිකා නොදුවන ලදි. කෞශළ්‍යා දුවද්දී දැවී ගියා. දුවද්දී දැවීයාම සම්පූර්ණ කරගත හැකි මට්ටමේ සන්සුන් බවක් එංගලන්තයට ඉතිරිව තිබුණා.

දැන් ශ්‍රී ලාංකාවේ කඩුළු නවයක් දැවී අවසන් - ලකුණු සමයි - හා සුරංගිකා, අංක 3 සිට 11 වනතෙක් සෑම ස්ථානයකම ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කඩුළු රකින්නියට සිදුවෙලා තිබෙනවා ජයග්‍රහණය සඳහා අවසන් පන්දු දෙකෙන් එක් ලකුණක් ලබා ගැනීමට.

ඇය අවසන් පන්දුවට පෙර පන්දුව කෙළින්ම පොයින්ට් හි පන්දු රකින්නිය වෙත එල්ල කළා, ලකුණක් නැහැ. අනෙක් අන්තයේ සිටින පිතිකාරිණිය සමඟ සුළු කතාබහකට යනවා වෙනුවට, ඇය ස්ක්වෙයාර් ලෙග් කළාපයට ඇවිද ගියා ඇයගේ ඉච්ඡාභංගත්වය පිටකිරීමට.

දැන් තරඟය සමබරයි. තම ක්‍රීඩාවේ සුපිරි බලවතා, වර්තමාන ලෝක ශූරයන්ට එරෙහිව දුර්වලයන්. කඩුළු නවයක් දැවී අවසන්. ලකුණු සමයි. ලොව පුරා විකාශය වන තරඟයක්.

සුරංගිකා එයට ප්‍රතිචාර දක්වන්නේ හයේ පහරක් සමඟින්. ඇයගේ ප්‍රථම ජාත්‍යන්තර හයේ පහර, තම මව්බිමට එංගලන්තයට එරෙහි ප්‍රථම ජය වාර්තා කිරීම සඳහා.

එය එක් තියුණු කාන්තා ක්‍රිකට් තරඟයක් නොවේ, එය තියුණු ක්‍රිකට් තරඟයක්. එය නින්දාවකින් බොහෝ වෙනස්.

No comments:

Post a Comment