Labels

Cartoons (2) Cricket (18) Crickethematics (5) English (12) Funny (10) Geeky (1) Girl Friends (4) Linux (1) Love (4) Music (1) Nalin de Silva (1) Nerdy (9) Politics (4) Relationships (4) Sinhala (10) Sri Lanka (4) Tech (1)

Tuesday, February 5, 2013

ඔවුන් ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙන් නොවේ


ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තම පළමු එක් දින තරඟ ජය 1979 දී වාර්තා කරනවිට මාගේ මවු පියන් එකිනෙකා හඳුනන්නෙවත් නැහැ. මම ක්‍රිකට් තරඟ නැරඹීම ඇරඹුවේ මා පාසල් යාමටත් පෙර සිටයි, එනම් 1995 ආසන්න කාලයකදී. ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලානය ජය ග්‍රහණය කිරීම මගේ පැරණිම, පැහැදිලි මතකයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වල පිබිදීම දැකීමට මා 80 දශකයේ ඉපදී තිබුනේ නැහැ.

නමුත් වර්තමාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම එය කෙසේ දැයි පරිකල්පනය කිරීමට මා හට රුකුළක් වනවා. තරඟයක් ජයග්‍රහණයෙන් අනතුරුව එදා සිටි ශ්‍රී ලාංකිකයන්ට දැනුන ආකාරය, ක්‍රිකට්වල පාතාකයන් පැරදවූ තම කණ්ඩායම පිළිබඳව ඔවුන් ආඩම්බර වූ ආකාරය. ඉතිහාසය පුනරාවර්තනය වේ.

එෂානි කෞශළ්‍යා යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයේ නව සුපිරි තරුවයි. චමරි අතපත්තු නව ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවායි. ශෂිකලා සිරිවර්ධන නව කැප්ටන් කූල් වේ. ශ්‍රී ලංකිකයන්ගේ නව වීරයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් වේ.

මෙවැනි දස්කම් මාලාවක් කිසිවෙකු ඔවුන්ගෙන් අපේක්ෂා නොකරන ලදි.

මෙම ලෝක කුසලානය ආරම්භ වනවිට, ඔවුන් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා ඉන්දියාව යන පතාකයන් හමුවේ කිසිඳු ජයක් වාර්තාකර තිබුනේ නැහැ. නමුත් මේ වනවිට ඔවුන් ඉන් දෙදෙනෙකු පරාජය කර හමාරයි. ඔවුන් ආරම්භ කළේ තම ක්‍රීඩාවේ සුපිරි බලවතා වන එංගලන්තයෙන්.

අනතුරුව ඉන්දියාව, විදුලි ආලෝක මධ්‍යයයේ. වැදගත් කරුණ, විදුලි ආලෝක මධ්‍යයයේ මේ ඔවුන්ගේ ප්‍රථම අත්දැකීම. ශ්‍රී ලංකාව සතුව විදුලි ආලෝක පහසුකම් සහිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන 4 ක් ඇත. මෙයින් පෙනෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ ක්‍රීඩිකාවන් සඳහා දක්වන සැලකිල්ලයි.

තරඟය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්. ජයග්‍රාහකයා සුපිරි හය වටය සඳහා සුදුසුකම් ලබන අතර, අනෙක් කණ්ඩායම සුදුසුකම් ලැබීම සඳහා තම දළ ලකුණු වේගය කොදෙව්වන්ට වඩා ඉදිරියෙන් තබාගැනීමට වගබලාගත යුතු වනවා.

පැහැදිලිවම කාසියේ වාසිය ශ්‍රී ලංකාවට වාසිදායක වූවා. නමුත්, ලකුණු 270 කට වඩා රැස් නොකර ප්‍රබල ඉන්දීය කණ්ඩායමට මෙම තණතීරුව මත පීඩනයක් එල්ල කළ නොහැකියි.

ශ්‍රී ලංකාව එය කළා. වඩා වැදගත් ලෙස, ඔවුන්ගේ ප්‍රබලම පිතිකාරිනිය වන අතපත්තු පළමු පන්දුවාරයේදීම අඩු ලකුණු ගණනකට දැවීයාමෙන් අනතුරුව. අනෙක් මුල්පෙළ පිතිකාරිනියන් සතුව අතපත්තුට මෙන් සහජ දක්ෂතාවක් නැතිවෙන්නට හැක. නමුත් ඔවුන් කඩුල්ලේ රැඳී සිටියා. දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට ඔවුන් අධිෂ්ඨානශීලී වූවා.

විශේෂයෙන්ම, කොදෙව්වන් හමුවේ ලද කටුක පරාජයෙන් අනතුරුව. ඇතැම් විට එංගලන්ත හමුවේ ලද ජයග්‍රහනයෙන් අනතුරුව ඔවුන්ගේ අවධානය අඩු වෙන්න ඇති. නමුත් කොදෙව්වන් හමුවේ ලද අන්ත පරාජය ඔවුන්ව අවදි කළා.

අතපත්තුගේ දැවී යාමෙන් අනතුරුව කණ්ඩායම් කළමනාකරු හා පුහුණුකරු රැඩිකල් තීන්දුවක් ගන්නවා අංක 3 පිතිකාරිනිය ලෙස දීපිකා රසංගිකා පිටියට එවීමට. පෙර තරඟ දෙකෙහිදී ඇය පන්දුවට පහර දෙන්නේ අංක 8 හා 9 ස්ථානවල. එය අති සාර්ථකවනවා. දීපිකා ලකුණු 84 ක් රැස්කරන අතර, තරඟයේ වීරයා සම්මානයද ලබා ගන්නවා. ඇය කඩුල්ලේ රැඳී සිටියා පමණක් නොවේ, ඇය ආරම්භක පිතිකාරිනී අවන්තිකා මෙන්ඩිස් සමඟ හොඳ වේගයකින් ලකුණු රැස්කරනවා.

දෙවන කඩුල්ල සඳහා ඔවුන් ශතකයක සම්බන්ධතාවක් ගොඩනඟනවා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ දෙවන කඩුල්ල සඳහා ඉහළම සම්බන්ධතාවය. එය කිරීමට මීට වඩා සුදුසු අවස්ථාවක් කොහිද.

අනතුරුව නායක ශෂිකලා පිටියට පිවිස, ඔබට නොදැනුවත්වම ලකුණු 59 ක් රැස් කරනවා. කෞශළ්‍යා නොදැවී ලකුණු 56 රැස්කරන්නේ ප්‍රහාරාත්මක වේගය 180.64 සමඟ. මා සිතන්නේ, වසර 34 කට පෙර ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලන්කාවේ ප්‍රථම එක්දින තරඟ ජයග්‍රහනයේදී දුලිප් මෙන්ඩිස් ගේ ඉනිම දකින්නට ඇත්තේත් මේ ආකාරයට විය යුතුයි. මෙම තරඟාවලිය කෞශළ්‍යාගේ ජීවිතයේ පෙරළියක් ඇති කළා. ඉන්දියාවට පැමිණෙන විට ඇය තරඟ 47 කදී, ලකුණු 15 ක සාමාන්‍යයක් සමඟ එල්ල කර තිබුණේ හයේ පහර 2ක් පමණයි.

අනතුරුව පන්දුවෙන්ද කෞශළ්‍යා ශ්‍රී ලංකාවට අවශ්‍යයම වූ පළමු කඩුල්ල ලබා දුන්නා. ශෂිකලා පන්දුව ලබාදුන් පන්දුයවන්නියන් 7 දෙනාම එක් කඩුල්ලක් හෝ බිඳ දැමුවා. තමන්ගේම ලෝක කුසලානයේ දෙවන වටයට පිවිසීමට ඉන්දියාවට නොහැකි වුනා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් මනහර වෘත්තීයමය ක්‍රීඩා රටාවක්. දැන් ආසියානු කළාපයෙන් දෙවන වටයට සුදුසුකම් ලැබූ එකම කණ්ඩායම ඔවුන් පමණයි.

කාන්තා ක්‍රීඩිකාවන්ට ආරක්ෂක අංශවල රැකියා ලබාදීමට ශ්‍රී ලංකා රජය ගත් තීන්දුවේ ප්‍රතිඵල ඇස් පනා පිට තිබෙනවා. තමන්ගේ ජීවිතය ගැටගහ ගැනීමට රැකියාවක් නොකර, තම සම්පූර්ණ කාලය ක්‍රීඩාව වෙනුවෙන් යෙදවීමේ හැකියාව දැන් ඔවුන්ට තිබෙනවා. මේ කාන්තාවන් ක්‍රීඩාව කරගෙන යන්නේ මුදල් වෙනුවෙන් හෝ වෙනත් කිසිඳු දෙයක් නිසා නොවේ. ඔවුන් ක්‍රීඩා කරන්නේ ඔවුන් ක්‍රීඩාවට ආදරය කරන බැවින්.

එය හරියට 1996 ට පෙර ශ්‍රී ලංකාවේ පිරිමි කණ්ඩායම වගේ. ඇතැම්විට මේ කාන්තාවන් දෙවන වටයේදී කිසිඳු තරඟයක් ජය නොගනු ඇත. නමුත් මේ වනවිටත් ඔවුන් සමස්ථ ලෝකයම මවිත කර අවසන්. මෙම ජයග්‍රහණයන් 2, ලාබාළ ක්‍රීඩිකාවන්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට උත්ප්‍රේරකයක් වේවි. එය තවත් වසර දහයකින් ලෝක කුසලානයක් ජයගැනීමට අඩිතාලම දමාවි.

No comments:

Post a Comment